බැඳීමක් ආරම්භ කිරීමෙන් පසු ඇත්තටම අපි කෙනෙක් ගැන නොකඩවා හිතන වාරයක් පාසාම නොදැනුවත්වම අපේ හිත ඒ පිළිබඳ කරුණු ,මතක රදවා ගන්නවා. ආකර්ෂණය තුළින් තව කෙනෙක්ට ළං වුණාම, ගෙවෙන සෑම තත්පරයක් තුළම මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. මෙම ක්‍රියාවලිය කෙනෙක් දවසක් දෙකක් සිද්ධ කලානම්, ඒ කෙනා තමන්ට නොගැළපෙනවා කියන දේ මුල ඉඳන්ම දවන්නවා නම්, නිවැරදි අවබෝධයට පත් වෙලා එතනදිම සිය මනසෙහි පාලනය වෙනස් කරන්න උත්සහ කලොත්, ඔහුට හෝ ඇයට නිදහස් කරන්න තියන මතක ප්‍රමාණය ඒ දින දෙකට සීමා වෙනවා.

නමුත් යම් කෙනෙක් මේ මතක දින ගනනාවක් ඉදිරියට ගෙන යනවා නම්, නැත්නම් තවත් බලාපොරොත්තු හීන මනස තුළින් ගොඩනගාගැනීමට උත්සාහ දරනවා නම්, යම් අනපේක්ෂිත අවස්ථාවක ඔහුට හෝ ඇයට නිදහස් කරන්න සිද්ධ වෙන මතක ප්‍රමාණය වැඩියි, විඳින්න වෙන වේදනාව අධිකයි. මේ දේ සෑම බැඳීමක් තුළම වගේ සිද්ධ වෙන දෙයක්.

මෙම අවස්ථාවන් ආදරෙන් ඉන්න දෙන්නෙක් අතර නිසැකවම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම යම් කෙනෙක් ගැන හිතේ තියාගෙන (Crush Level) ඉද්දි වුණත් සිද්ධ වෙන්න පුළුවන්. අවස්ථා දෙකේදිම වෙනස සහ ඇති වන මනෝවිද්‍යාත්මක අභ්‍යන්තර ක්‍රියාවලිය තුළ බොහෝ තැන් සමානයි.

සමාන්‍ය ලෙස ගත්තම කලින් ආදර සබඳතාවයක අත්දැකීමක් නැති, හෝ ආදර සබඳතාවයකින් නිවැරදි අවබෝධයක් නොලැබුණු කෙනෙක් ඉහත කිව්ව හැඟීම් සහ බලාපොරොත්තු මත අධික ලෙස දිවීම මගින් මේ Breakup Pain එක දරුණු තත්වයෙන් ම ඇති කරගන්නවා. උදාහරණයක් විදියට පාසල් වයසෙ ඉන්න කෙනෙක් මේ ආදරයක් සමග බැඳුනම ඔවුන්ට ආකර්ෂණය නිසා දැනෙන තෘප්තිය හැර, නිශ්චිත අදහසක්, මානසික පාලනයක් හෝ පාලනයක් තුළ පවත්වාගෙන යෑම පිළිබඳ මනා අවබෝධයක් බොහෝ විට නෑ. ඔවුන් ඔවුන්ගේ මට්ටමින් බලාපොරොත්තු වර්ධනය කර ගැනීමෙහි සීමාද නෑ. මොකද, මෙම ක්‍රියාවලිය නිසා වන බලපෑම ගැන නිසි අවබෝධයක් හා අත්දැකීමක් ඔවුන්ට කලින් නැති නිසා. මේ හේතුවෙන්, මෙම වයසෙ කෙනෙක්ට අධිකව මේ වේදනාව විදින්න සිද්ධ වෙන අවස්ථා අධිකයි.

නමුත් පාසල් වයසෙම නෙමෙයි, විශේෂයෙන් ම වයස 18 – 26 ක් අතර ඕනම කෙනෙක්ට සහ එතනින් එහා ඕනම වයස් පරතරයක කෙනෙක්ට වුනත් මේ වේදනාව අධිකව දැනෙන්න පුළුවන්. මොකද, ඔවුන් තමන් කොපමණ අත්දැකීම් සහිතයි කියලා හිතුවත් තමන් ආදර සබඳතා බිඳවැටීම් වලට නැවත නැවත මුහුණ දුන්නත්, තවත් බැඳීමක් තුළදී වේදනාවට පත්වීම සහ කඩාවැටීම් සිද්ධ වෙන්න පුළුවන්. එය පාලනය කර ගන්න තරම් සූදානමක්, සැලැස්මක් නෑ. ඒකට හේතුව නම්, ඇබ්බැහි වීමක දී මෙවැනි අවස්තාවක් තුළ හැඟීම් මතින් තීරණ ගන්න ප්‍රතිශතය විශාල ලෙස ඉහල යෑමත් අවබෝධයෙන් තීරණ ගැනීමේ ප්‍රතිශතය එනම් යථාර්ථය ප්‍රායෝගිකව යොදා ගැනීම අවම වීම එනම් දුර්වල වීම නිසයි. ‍මොන තරම් දැනුමක්, හොඳ සමාජ මට්ටමක් තියන, පරිණත කෙනෙක්ට වුනත් මේ මොහොත දරාගන්න අපහසු ඒ නිසයි.

දැන් කතා කරන්න යන්නේ වැදගත්ම දේ,
මුල ඉඳන්ම විය හැකි ගැටලුවක් සඳහා සූදානම් වෙන්නෙ, එනම් Breakup Pain එක අඩු වෙන තැනට වැඩ කරන්නෙ කොහොමද ?

බොහෝ පිරිස් ආදරයක් පටන් ගනිද්දි ලොකුවට සොයා බැලීමක් සිද්ධ කරන්නෙ නෑ. ඇතැම් විට තමන්ගෙ ජීවිතයට ඉතාම වැරදි ප්‍රතිඵල ගෙනත් දෙන කෙනෙක්ට වුණත් දැන දැනම ආදරයෙන් බැඳෙනවා. නැත්නම්, එහෙම බැඳුනට පස්සෙ සාමාන්‍ය බැඳීමක් තුළ කාලයක් ගිහින් අනපේක්ෂිත දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට ඇබ්බැහි වෙලා ඉවරයි. ඇබ්බැහි වුණා කියන්නෙ ඉන් පසු කොච්චර විෂ සහිත බැඳීමක හිටියත්, මේ දේ මගේ ජීවිතයම නැති කරනවා කියන යථාර්ථය දැන දැනම වුවත් එතන රැඳෙන්නම මනස හුරු වෙලා ඉවරයි. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක්ට ඒ දේ, යථාර්ථය දැන දැනත් අත් හැර ගන්න බෑ වගේ, පුද්ගලයෙක්ට ඇබ්බැහි වෙන කෙනාටත් ඒ දේම සිද්ධ වෙනවා.

ආදරයක් පටන් ගත්තට 100% ඒකට මුළු මනසම වෙලා ගන්න දෙන්න එපා. ඒ හැඟීම් දවසේ වැඩ කටයුතු, හෝ ඔයා සතුටින් කරන වැඩ හා නියාමනයකින් තොරව සම්භන්ධ කරන්න එපා. ඒ කියන්නෙ ඔයාගෙ සාමාන්‍ය ජීවිත හා ඔය දෙන්නගෙ සම්බන්ධය හැකි තරම් වෙන් වෙන්ව තියාගන්න. ඔහුට හෝ ඇයට කතා කරන්න සීමා කරගත් වෙලාවක් තියාගන්න. අවශ්‍ය සොයා බැලීම්, ගමන් බිමන් ඒ අවස්ථාව සඳහා පමණක් තියාගන්න උත්සාහ කරන්න. පැය 24 ම නොයෙකුත් අවස්ථාවල කරන හැම වැඩක් එක්කම ඒ කෙනාව මතක් කර කර හීන ලෝක වලට යන්න එපා. හැම තප්පරේම එයා ගැනම හිත හිත Text messages , Photos බලමින් ඔනවට වඩා මනසට ඒක දෙන්න එපා. හැමදාම මුළු දවසෙම Calls වල ඉන්න එපා. ඒක සම්පූර්ණ විෂ සහිත තත්වයක්. මතක තියාගන්න ඔයා ඉන්නෙ හොඳ බැඳීමක නම්, අනවශ්‍ය විදියට Calls වල ඉන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ ඔයාට ඔයාගෙ ජීවිතය, දියුණුව මග හැරෙන එක. අවසානයේ Breakup එකක් සිද්ධ වුණොත්, අර මුළු කාලයම අපරාදෙ. ඒ නිසා 100% ක් විශ්වාස වුණත්, සීමාවක් ඇතුව සබඳතාවය තියාගන්න වග බලාගන්න. මතක තියාගන්න මිනිස්සු එක්ක හදා ගන්න ඕනම සබඳතාවයක අවනිශ්චිත බවක් සෑම මොහොතකම පවතිනවා.

මුල සිටම බැඳීමටම ගැති වෙලා ඒ තුළ ජීවත් වෙන්න ගත්තොත්, මනස ඒ විදියට පුහුණු කලොත්, යම් අනපේක්ෂිත අවස්ථාවකදී ඔයා විඳවන ප්‍රමාණය ඉතාම අධිකයි. මොකද, මුලදිම මේ දේ පාලනයෙන් සහ අවබෝධයෙන් කරන්න පුළුවන් වුණත් පසු කාලීනව අධිකව ඒ මත ජීවත් වුණාම ස්ව්‍යංක්‍රීයව මතක හිතට ගලා යෑමේ තත්වය ආරම්භ වන නිසා. ඒ කියන්නෙ මනස ඔයාගෙ පාලනයෙන් බැහැරට යන අවස්ථාව.

දැන් කෙනෙක් හිතන්න පුළුවන් ආදරය කරද්දි කොහොමද මේ විදියට කරන්නෙ, Time Table එකකට වගේ බැඳීම පවත්වාගෙන යන්නෙ කොහොමද කියලා. ආදරය කියන්නෙ ජීවිතය සහ හැඟීම් සමග එකට බද්ධ වුණු දෙයක් කියලා. ඔව් ඒක ඇත්ත.

නමුත් ඔයා ඔයාට ආදරෙයි නම්, විඳවන්න පසුතැවිලි වෙන්න අකමැති නම්, ඔයාට ඉලක්ක තියනවා නම් ඒ මතය වෙනස් කර ගන්න එක අත්‍යාවශ්‍යයි. ලෝකයේ දුක් විඳලා ඉහලට ආපු ධනවතුන්, ක්‍රීඩකයන්, ඇතුළු බොහෝ පිරිස් තමන්ගෙ ඉලක්කය වෙන ගමන් කරන ගමන් මගට වෙන කෙනෙක්ගෙ ආදරයක් අනවශ්‍යය විදියට මුසු කරගත්තෙ නැති අය. ඔවුන්ට ඒ ආදර කතා වලට වෙනම කාලසීමාවක් තිබුනා. අධිකව තමන්ගෙ වැඩ වලට ඒ දේ මුසු කරගත්තොත් කවදාවත් පුද්ගලයෙකුට ඔහු හෝ ඇය කරන දේ සාර්ථක කරගන්න හැකියාවක් නෑ. මොකද ඒ හරහා වෙන අනපේක්ෂිත සිදුවීම්, ඒ බලපොරත්තු බිඳ දමනවා සහ තමන්වද අඩපන කරන්න සමත් වෙනවා. මිනිස්සු එක්ක සබඳතා තියෙද්දි, වෙනස්වීම් වලට මුහුණ දීමේ අවධානම හැම වෙලේම තමන් අත තියනවා. කලින් නොතේරුනාට, ඒ අවස්ථාවට මුහුණ දෙන්න ලැබුනම, ජීවිතය කොච්චර අමාරුද කියල දැනෙන්න පටන් ගන්නවා. ඔයාගෙ වටිනා ජීවිතය, කාලය ඇතුළු ගොඩක් දේවල් එතැන් සිට ක්‍රමානුකූලව විනාශ වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ දේ සිද්ධ වෙනකන් දැනෙන්නෙ නෑ. ඒ නිසයි, පෙර සූදානම සඳහා මේ අවබෝධය දෙන්න උත්සාහ කරන්නෙ.

ආදරය කරන කෙනාට කැප වෙලා එයාගෙ දියුණුව වෙනුවෙන් වැඩ කරන හොඳ බැඳීම් ඇත්තටම තියනවා. මේ කතා කරන්නෙ එතනින් එහාට ගිහින් අද දුක් විදින තරුණ සහ වැඩිහිටි අය බොහෝමයක් ඉලක්ක කරගෙන. මොකද දිනපතා උපදේශන වලින් හමුවෙමු සේවාලාභීන්ගේ සිදුවීම් දිහා බැලුවම සාර්ථකව එකිනෙකා පිළිබඳ මනා අවබෝධයෙන්, ආකර්ෂණය බිඳවැටෙන තැන් වල මානසික පාලනයෙන්, සාර්ථකව ප්‍රශ්න වලට මුහුණ දෙමින් පවත්වාගෙන යන බැඳීම් වලට වඩා, විෂ සහිත හොඳ ජීවිතයක් උරුම මිනිස්සු නැති නාස්ති වෙලා යන එකතු වීමකට පමණක් සීමා වුණු බැඳීම් අනන්තව පවතින බව නොරහසක්.

මේ ලෝකය තුළ ඉන්න හොඳම කෙල්ල හෝ කොල්ලා එක්ක බැඳීමක් ඇති වුණත් තමන්ගෙ බලපොරත්තු , ඉලක්ක දශමයක් වත් හෙල වෙන්න දෙන්න එපා. මොකද වෙනස් වෙන මිනිස්සු කිසිඳු දිනක අපිට ඕන විදියට ඉන්නවා කියලා සහතික නෑ. ඒක Risk එකක්. මන් කියන්නෙ, ඔයා ආදරය කරන කෙනා සැක කරන්න කියල නෙමෙයි. නමුත් මේ අත්දැකීම ජීවිත කාලය පුරාම අනපේක්ෂිතයි.

ඇත්තටම වේදනාව අවම වන විදියට Love Relationship එකක් කරන්න නම් ඕනවට වඩා ඒක හිතට ගන්න එක මුල් අවස්ථාවෙ ඉඳලම සිද්ද නොකල යුතුයි. ඒකෙන් අදහස් කරන්නෙ එයාට දැනෙන්න ආදරේ කරන්න එපා කියල නෙමෙයි. ඒ වගේම අතර මග එයාව දාල යන්න කියලත් නෙමෙයි. මේ දේ නිවැරදිව තේරුම් ගන්න. ආදරේ කරන්න, ළඟින් ඉන්න. කොච්චර ළඟින් හිටියත් මේ වෙනස් වෙන ස්වභාවය පිළිබඳ අවබෝධය හිතේ මුල් තැන තියාගන්න. කයින් 1000 ක් දේ සිද්ධ කලත්, මනසින් ඔයා මේ සියල්ල පිළිබඳ බුද්ධියෙන් කටයුතු කරන්න, අත්හැරීම පුරුදු කරන්න. ඔයාගෙ දියුණුවට ඔයාගෙ සතුට ට එක දශමයක්වත් ඔයාගෙ බැඳීම බාධාවක් කරගන්න එපා. ඒ දේවල් දවසින් දවස පොඩි ප්‍රමාණයෙන් හරි වැඩි දියුණු කරගන්න අතර බැඳීම තුළ රැඳෙන්න. මේක පුරුදු පුහුණු කිරීමෙන් ඕනම කෙනෙක්ට ඇබ්බැහි වීම නිසා ඇති වන වේදනාව අවම කරගන්න පුළුවන්. නමුත් කිසිම දෙයක් ලේසි නෑ වගේ මේකටත් යම් කිසි කැපවීමක් අවශ්‍යයි. තමන් අවංකව ආදරය කරනවා නම්, වේදනාවක් දැනෙන්න තියන ඉඩ කඩ අවම කරන්න මේ ලෝකෙ තියන එකම විදිය මේක විතරයි. හිතන තැන වෙනස් කරන්න. මනස පුහුණු කරන එක ඔයාගෙ වැඩක්, ඒකට යම් කාලයක් යනවා. මේ ඒකට මග පෙන්වීමයි. ඉක්මන් ක්‍රම කොහෙන්වත් හොයා ගන්න බෑ.

ජීවිතයේ සෑම කටයුත්තකටම හොඳ පැහැදිලි මානසිකත්වයකින් මූහුණ දෙන්න, ඔයාගෙ මනස නොගැළපෙන ආදර සබඳතා වැනි පීඩාකාරී දේවල් තුළින් ඉවත් කිරීම ඉතාම වැදගත්. ඒකයි මේ Relationship & Breakup කියන දේ ධනාත්මක මානසිකත්වයට බලපාන්නෙ. ඒ වගේම අපි ජීවත් වෙන්න ඕන නිවැරදි, කාටවත් හානි නොවන පිරිසිදු ඉලක්කයක.

ඔයාගෙ ආදර කතාවෙන් දීර්ඝ කලයක් ලැබෙන්නෙ දුක සහ පසුතැවීම් නම් , ඔයාගෙ ජීවිතය ආපස්සට අදින බව දන්නවා නම්. එය නිසැකවම අත්හැරිය යුතු බැඳීමක්. නිවැරදි බැදීමක් ඔයාට දිගු කාලයක් සෘණාත්මක අත්දැකීම් ලබා දෙන්නෙ නෑ. වැරදි ආදරයකට ඇති ඇබ්බැහි වීම නවතින තැන ඔයා ජීවිතය දකින බව මතක තියාගන්න. මේ මොහොත තුළ සිය දිවි හානි කරගන්න හිතෙන කෙනෙක්ට වුණත් උනන්දු වෙලා මේ දෙවල් තේරුම් ගෙන, අනුගමනය කරමින් සම්පූර්ණ සුවපත් වෙන්න පුළුවන්. තමන් අසාර්ථක වුණා, තමන්ට නැති වුණා කියන හැඟීම් නැති කර ගන්න පුළුවන්. මේ සියල්ල යම් කාල සීමාවක, යම් සිදුවීම් මත තමන්ගෙ හිතම ඇති කරන දේවල්. එහෙම තියෙද්දිත් කෙනෙක් එයාගෙ වටිනා අනාගතය, තමන්ගේ වටිනකම්, තමන් ජීවත් වුණු කාලයට වඩා ජීවත් වෙන්න තියන කාලය වැඩියි කියල නොසලකා, තමගෙ දෙමව්පියන් ගැන නොසලකා ඕනම ආකාරයක වැරදි තීරණයක් ගන්නවා නම් එය කොයි තරම් අපරාදයක් ද?

වේදනාව හෙට වෙද්දි නැති කරන ඉක්මන් ක්‍රම නෑ. තුවාලයක් වුනත් හොඳ වෙන්න කල් යනවා. කල්පනා කරන්න, නිවැරදි අවබෝධයෙන් සුවපත් වුණොත් ඒ සැනසීම සදාකාලිකයි. අධිකව හිතට වද දෙන වෙනස් වෙන මිනිස්සුන්ගෙන් දැනෙන සැනසීම තාවකාලිකයි. නැවත නැවතත් ඔයා වැටෙන්නෙ එකම දුක් ගින්නටමයි. ඒකයි මේ ඇබ්බැහි වීමේ ස්වාභාවය.

සියදිවි හානි කරගැනීම්, මිනි මැරුම්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම යන සමාජ විශමතා සියල්ලෙහි ප්‍රධාන එක් මූලාරම්භයක් තමයි මේ බැඳීම් සම්භන්ධ විවිධ සිදුවීම්. ඒක, මේ ලිපිය මේ වෙනකන් කියවන ඔයත් දන්න දෙයක්. ඉතින් ඒ තත්වයට නොයා සූක්ෂම විදියට මනස පාලනය කර ගත්තොත් අනාගතයේ මේ විදියට දුක් විඳින්න පාර හදාගන්න අයට හොඳින් ගත කරන්න ලැබුණු වටිනා ජීවිතය අකාලයේ නාස්ති වීම වලක්වා ගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය දැනුම සමාජ ගත කිරීම තමයි මෙම ලිපි මාලාවේ අරමුණ.

 

නන්දිමාල් එදිරිසූරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Scan the code